කියවීම්
2028 ජූලි 30
Seventeenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
උත්පත්ති කථාව 18: 20-32
20පසුව උන් වහන්සේ කතා කොට, ”සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද?
21එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක.
22එවිට අමුත්තෝ එතැනින් නික්ම සොදොම් බලා පිටත් වූ හ. එහෙත්, ආබ්‍රහම් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ම නැවතී සිටියේ ය.
23ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, ”සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද?
24හොඳයි! නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම්, මේ පණස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?
25අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.
26එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”සොදොම් නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක.
27ආබ්‍රහම් නැවතත් කතා කරමින්, ”අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.
28හොඳයි! නුවරෙහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම් පස්දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක් දැ”යි ඇසී ය. ”එහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම්, මම එය නොවනසමි”යි උන් වහන්සේ වදාළ සේක.
29ආබ්‍රහම් යළිත් කතා කරමින්, ”ඇතැම් විට එහි දමිටුන් සතළිස්දෙනෙකු සිටින්නට පුළුවනැ”යි කී ය. ”ඒ සතළිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
30ආබ්‍රහම් නැවතත් කතා කරමින්, ”ස්වාමීනි, ඔබ මා සමඟ නොකිපෙන සේක් වා! මම නැවතත් කතා කරමි. හොඳයි! එහි තිස්දෙනෙකු පමණක් සිටින්නට පුළුවනැ”යි කී ය. ”ඒ තිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ ද උත්තර දුන් සේක.
31ආබ්‍රහම් තවදුරටත් කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ සමඟ වාද කිරීමට ඉදිරිපත් වීම ගැන කමා වන්න. හොඳයි! එහි දමිටුන් විසිදෙනෙක් පමණක් ඇතැ යි හිතමු”යි කී ය. ”ඒ විසිදෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ පිළිතුරු දුන් සේක.
32එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: ”සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” ”ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
Responsorial Psalm
ගීතාවලිය 138: 1-2, 2-3, 6-7, 7-8
1සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක; මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
6සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
7මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
8සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
Second Reading
කොලොස් 2: 12-14
12මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය.
13ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක.
14අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක.
Alleluia
රෝම 8: 15bc
15මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ”අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
Gospel
ශුද්ධ වූ ලූක් 11: 1-13
1උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය.
2උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
4අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ”
5තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න;
6ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්,
7ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද?
8මම ඔබට මෙය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක.
9මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.
10මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
11ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද?
12නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද?
13මෙසේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”