කියවීම්
2026 නොවැම්බර් 30
Feast of Saint Andrew, Apostle
දවසේ දේව මෙහෙය
Reading I
රෝම 10:9-18
9ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය.
10මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.
11උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
12ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක.
13මන්ද: ”සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.
14අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද?
15යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: ”සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
16එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, ”සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.
17ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි.
18එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: ”දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත; ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”
Responsorial Psalm
ගීතාවලිය 19:8, 9, 10, 11
8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 4:19
19මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 4:18-22
18උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,
19මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
20එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
21උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක.
22එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ.