කියවීම්
2026 නොවැම්බර් 24
Memorial of Saint Andrew Dung-Lac, Priest, and Companions, Martyrs
දවසේ දේව මෙහෙය
Reading I
එළිදරව් 14:14-19
14තවද සුදු වලාකුළක් ද, ඒ වලාකුළ මත සිය හිසේ රන් කිරුළක් සහ අතේ මුවහත් දෑකැත්තක් ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි.
15එවිට තවත් දේව දුතයෙක් දේව මාලිගාවෙන් නික්ම අවුත්, වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේට මහ හඬින් මොරගසා: ”ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව; මන්ද, පොළොවේ ගොයම් හොඳට ම පැසී තිබෙන බැවින්, කපන කාලය පැමිණ ඇතැ”යි කී ය.
16එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.
17තවත් දේව දුතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.
18එවිට ගින්න බාර ව සිටි තවත් දේව දුතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, ”ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය.
19දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී.
Responsorial Psalm
ගීතාවලිය 96:10, 11-12, 13
10විජාතීන් අතර මෙසේ පවසන්න: ”සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.
11සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!
12කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා! එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය.
13සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”
Alleluia
එළිදරව් 2:10
10ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි.
Gospel
ශුද්ධ වූ ලූක් 21:5-11
5සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට,
6ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක.
7ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.
8උන් වහන්සේ කතා කොට, ”මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න.
9යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.
10එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත.
11මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය.