කියවීම්
2026 නොවැම්බර් 15
Thirty-third Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
හිතෝපදේශ 31:10-13, 19-20, 30-31
10කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.
11සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.
12දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.
13ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.
19ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.
20ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත.
30රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
31ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.
Responsorial Psalm
ගීතාවලිය 128:1-2, 3, 4-5
1සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.
2මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.
3ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
4සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.
5සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
Reading II
1 තෙසලෝනික 5:1-6
1සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.
2මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
3‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.
4එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත.
5ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු.
6ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු.
Alleluia
ශුද්ධ වූ ජොහන් 15:4, 5
4මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
5මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 25:14-30
14ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර දී පිටරට බලා ගියේ ය.
15ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.
16රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.
17එලෙස ම රිදී දෙදාහ ලැබූ තැනැත්තේ ද තවත් දෙදාහක් උපදවා ගත්තේ ය.
18එහෙත් දාහක් ලැබූ තැනැත්තේ ගොස්, පොළොවේ වළක් හාරා, ස්වාමියාගේ මුදල සඟවා තැබී ය.
19බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලී ය.
20රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය.
21ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.
22රිදී කාසි දෙදාහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ රිදී කාසි දෙදාහක් මට භාර දුන්නෙහි ය; මෙන්න, තවත් රිදී කාසි දෙදාහක් උපදවා ගතිමි’යි කී ය.
23ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.
24ඉන්පසු රිදී කාසි එක් දහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ නොවපුළ තැනින් කපන, වගා නොකළ තැනින් පල රැස් කරන, තදහිතක් ඇති මනුෂ්‍යයෙකු බව දැනගතිමි.
25එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදී කාසි පොළොවේ වළක සඟවා තැබීමි. මෙන්න, ඔබ සතුදේ’යි කී ය.
26ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද!
27එසේ නම්, මාගේ මුදල බැංකුවේ තැන්පත් කළ යුතු ව තිබුණේ ය. එසේ කෙළේ නම්, මා ආ විට මගේ මුදල පොළියත් සමඟ ලබාගන්න පුළුවන්කම තිබිණි.
28එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි පන්දාහ ඇති තැනැත්තාට දෙන්න.
29යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකත් ගනු ලැබේ.
30මේ පලක් නැති දාසයා පිටත අන්ධකාරයට නෙරපාදමන්න. එහි දී වැලපීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි කියනු ඇත.”
Gospel - Alternative
ශුද්ධ වූ මතෙව් 25:14-15, 19-21
14ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර දී පිටරට බලා ගියේ ය.
15ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.
19බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලී ය.
20රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය.
21ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.