කියවීම්
2026 නොවැම්බර් 13
Memorial of Saint Frances Xavier Cabrini, Virgin[In the Dioceses of the United States]
දවසේ දේව මෙහෙය
Reading I
2 ජොහන් 4-9
4පියාණන් වහන්සේගෙන් අප ලැබූ ආඥාව පරිදි, ඔබගේ දරුවන්ගෙන් සමහර දෙනෙකු සත්‍යය අනුව ජීවත් වනු දැක ඉතා ප්‍රීති වීමි.
5එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය.
6මේ ප්‍රේමය නම්, උන් වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම ය. ආඥාව නම්, පටන්ගැන්මේ සිට ඔබ ඇසූ ලෙස ප්‍රේමයෙන් ජීවත් වීම ය.
7ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යයෙකු වූ බව නොපිළිගන්නා බොහෝ රැවටිලිකාරයෝ ලොව පුරා විසිර ගොස් සිටිති. මොවුහු රැවටිලිකාරයෝ ය, ක්‍රිස්තු-විරෝධියෝ ය.
8ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.
9ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවතී, එයින් පිට පැන යන්නා, දෙවියන් වහන්සේ නැති ව ජීවත් වන්නෙකි. ඒ ධර්මයෙහි පවතින්නා පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ඇති ව ජීවත් වන්නෙකි.
Responsorial Psalm
ගීතාවලිය 119:1, 2, 10, 11, 17, 18
1නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
2එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.
10මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.
11ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.
17ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
18ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
Alleluia
ශුද්ධ වූ ලූක් 21:28
28මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 17:26-37
26තවද නෝවාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය.
27නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
28ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ:
29එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගිය දා, අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස, සියල්ලන් විනාශ කර දැමී ය.
30මනුෂ්‍ය-පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනයේ දී ද ඒ අයුරින් ම වන්නේ ය.
31ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා.
32ලොත්ගේ භාර්යාව සිහි කරන්න.
33සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය.
34මෙය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය.
35ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය.
36මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය; අනෙකා හැර දමනු ලබන්නේ ය.”
37එවිට ඔව්හු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, ”මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.