කියවීම්
2026 නොවැම්බර් 17
Memorial of Saint Elizabeth of Hungary, Religious
දවසේ දේව මෙහෙය
Reading I
එළිදරව් 3:1-6, 14-22
1සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි.
2පිබිදෙන්න. තවමත් ඉතිරි ව ඇති දේ මැරී යාමට පෙර පණගන්වන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි, සම්පූර්ණ යයි කිව හැකි ඔබේ කිසි ක්‍රියාවක් මට නොපෙනේ.
3එබැවින්, ඔබ අසා පිළිගත් වචනය සිහි කර, ඊට කීකරු වී, පසුතැවී සිත හරවා ගන්න. ඔබ අවදි ව නොසිටින්නහු නම්, සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහු ය.
4එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබ අතර සිටිති. ඔව්හු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමඟ ඇවිදින්නෝ ය.
5ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේ ය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේ ද, උන් වහන්සේගේ දූතයන් ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.
6‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’
14ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.
15මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි.
16ඔබ උණුසුම් ව හෝ ශීතල ව හෝ නොසිට, ඇල්මැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි.
17‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය.
18එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි.
19මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.
20මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය.
21මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.
22‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’ ”
Responsorial Psalm
ගීතාවලිය 15:2-3, 3-4, 5
2නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.
3ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
4ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
5ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.
Alleluia
1 ජොහන් 4:10
10ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව, උන් වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීම ය.
Gospel
ශුද්ධ වූ ලූක් 19:1-10
1උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක.
2සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.
3ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය.
4ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.
5ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, ”සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක.
6ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය.
7ඒ දුටු සියල්ලෝ, ”උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය.
8සාකෙවුස් නැඟිට, ”ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.
9ජේසුස් වහන්සේ කතා කරමින්, ”ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.
10මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.