නොවැම්බර් 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
2930
අද දිනට

කියවීම්

2026 නොවැම්බර් 22

The Solemnity of Our Lord Jesus Christ, King of the Universe

දවසේ දේව මෙහෙය
Reading I

එසකියෙල් 34:11-12, 15-17

11මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි. 12එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිර ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, මීදුම සහ අන්ධකාරය ඇති දවසේ දී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි. 15මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය. 16මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි. 17මාගේ බැටළුවෙනි, නුඹලාට දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන්කරන්නෙමි.
Responsorial Psalm

ගීතාවලිය 23:1-2, 2-3, 5-6

1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය. 2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, 3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක. 5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය. 6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Reading II

1 කොරින්ති 15:20-26, 28

20එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට a සහතිකය වේ. 21මන්ද, එක මිනිසෙකු කරණකොටගෙන මරණය පැමිණියාක් මෙන් ම, එක මිනිසෙකු කරණකොටගෙන මළවුන්ගෙන් උත්ථානය ද පැමිණියේ ය. 22ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ලෝ ම ජීවනයට පමුණුවනු ලබන්නො‍් ය. 23එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය. 24පසුව අවසානය පැමිණේ. එවිට උන් වහන්සේ සියලු අධිපතිකම් ද බලය ද පරාක්‍රමය ද අභිබවා උන් වහන්සේගේ රාජ්‍යය දෙවි පියාණන් වහන්සේට භාර දෙන සේක. 25මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය. 26නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. 28සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේ ද, සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිස ය.
Alleluia

ශුද්ධ වූ මාර්ක් 11:9, 10

9පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය ”හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!, 10අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.
Gospel

ශුද්ධ වූ මතෙව් 25:31-46

31මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක. 32එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට, 33බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක. 34එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. 35මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය. 36වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර දුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; ඔබ මා බලාගත්තහු ය. හිරගෙදර සිටියෙමි; ඔබ මා බලන්න ආවහු ය’යි වදාරන සේක. 37එකල දැහැමියන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනි ව සිටිය දී අපි ඔබට කෑම දුනිමු ද? පිපාසා වී සිටිය දී බොන්න දුනිමු ද? 38කවර කලෙක ඔබ වහන්සේ ආගන්තුක ව සිටිය දී ඔබ ගෙදරට පිළිගතිමු ද? නොහොත් වස්ත්‍ර නැති ව සිටිය දී ඇඳුම් දුනිමු ද? 39කවර කලෙක ඔබ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිය දී ඔබ බලන්න ආවෙමු දැ’යි කියනු ඇත. 40එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක. 41එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න. 42මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය. 43ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක. 44එවිට ඔවුන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ සාගිනි ව හෝ පිපාසා වී හෝ ආගන්තුක ව හෝ වස්ත්‍ර නැති ව හෝ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකෙළෙමු දැ’යි අසනු ඇත. 45එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින් ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතා ම සුළු තැනැත්තාට වුව ද එසේ නොකළා නම් එය නොකෙළේ මට ය’යි වදාරන සේක. 46මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.”