කියවීම්
2026 දෙසැම්බර් 1
Tuesday of the First Week of Advent
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 11:1-10
1දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.
2සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.
3එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.
4එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
5යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
6වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය; දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය. සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය; කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
7එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය; උන්ගේ පැටව් එකට ලගින්නෝ ය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය.
8කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය. සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය.
9සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය. මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
10දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 72:1-2, 7-8, 12-13, 17
1දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!
2එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.
7එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!
8මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!
12එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය; පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය.
13එතුමා, දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය; දිළිඳුන්ගේ ජීවිත මුදාගත්තේ ය.
17එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 10:21-24
21ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, ”ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය.
22මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක.
23එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, ”ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය.
24මෙය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.