කියවීම්
2026 නොවැම්බර් 28
Saturday of the Thirty-fourth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
එළිදරව් 22:1-7
1දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.
2එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.
3කිසි සාපයක් තවත් එහි නොවන්නේ ය. දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනය එහි වන්නේ ය. උන් වහන්සේගේ සේවකයෝ උන් වහන්සේට නමස්කාර කරන්නෝ ය.
4ඔව්හු උන් වහන්සේගේ මුහුණ දකින්නෝ ය. උන් වහන්සේගේ නාමය ද ඔවුන්ගේ නළල්වල ඇත.
5එහි රාත්‍රියක් තවත් නොවන්නේ ය. පහන් ආලෝකය වත්, සූර්යාලෝකය වත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද, දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔව්හු සදහට ම රජකම් කරන්නෝ ය.
6එවිට දේව දූතයා මට කතා කොට, ”මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක.
7මෙන්න, මම ඉක්මනින් එමි”යි කී ය. ”මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි”යි උන් වහන්සේ වදාරන සේක.
Responsorial Psalm
ගීතාවලිය 95:1-2, 3-5, 6-7
1එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු.
3මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.
4මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය; කඳු ශිඛර එතුමන්ගේ ය.
5එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය.
6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
Alleluia
ශුද්ධ වූ ලූක් 21:36
36එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
Gospel
ශුද්ධ වූ ලූක් 21:34-36
34ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.
35මන්ද, එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේ ය.
36එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”