කියවීම්
2026 නොවැම්බර් 18
Wednesday of the Thirty-third Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
එළිදරව් 4:1-11
1ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, ”මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය.
2එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ.
3එහි වැඩහුන් තැනැන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූ සේක. සිංහාසනය වටා මරකත මෙන් දිළෙන දේදුන්නක් විය.
4මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.
5සිංහාසනයෙන් විදුලිය ද ශබ්ද ද අහස් ගිගුරුම් ද නික්මිණි. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිණි. ඒ සත නම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය.
6සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.
7පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය.
8ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, ”වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.
9ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්‍රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම,
10කුලදෙටුවෝ විසිහතර දෙනා ද, සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔව්හු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:
11අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.
Responsorial Psalm
ගීතාවලිය 150:1-2, 3-4, 5-6
1සමිඳුන් පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.
2එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.
3හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.
4රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.
5හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.
6ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Alleluia
ශුද්ධ වූ ජොහන් 15:16
16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Gospel
ශුද්ධ වූ ලූක් 19:11-28
11ඔවුන් මෙබස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි.
12රදළපෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත් ව ගියේ ය.
13ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙයින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.
14එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.
15ඔහු රාජ පදවිය ලබා පෙරළා ආ විට, තමා මුදල් දුන් දාසයෝ වෙළහෙළඳාමෙන් කොපමණ උපදවා ගත්තෝ දැ යි දැනගන්නා පිණිස ඔවුන් තමන් වෙත කැඳවන්න අණ කෙළේ ය.
16පළමුවැන්නා ඔහු ඉදිරියට අවුත්, ‘ස්වාමීනි, ඔබේ එක රන් කාසියෙන් රන් කාසි දසයක් උපදවා ගතිමි’යි කී ය.
17ඔහු කතා කොට, ‘ඉතා හොඳ ය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙයක් ගැන විශ්වාසී වූ බැවින් නගර දසයක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.
18දෙවැන්නා ද අවුත්, ‘ස්වාමීනි, ඔබ දුන් රන් කාසියෙන් පහක් උපදවාගතිමි’යි කී ය.
19එවිට ඔහු, ‘ඔබත් නගර පහක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.
20තවත් කෙනෙක් අවුත්, ‘ස්වාමීනි, මෙන්න ඔබේ රන් කාසිය! එය රෙදි කඩක ඔතා තැබීමි.
21මන්ද, ඔබ නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූවෙමි’යි කී ය.
22එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.
23එසේ නම් මා ආ විට පොළියත් සමඟ අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකෙළේ මන් ද?’ කියා,
24ළඟ සිටියවුන්ට කතා කොට, ‘ඒ කාසිය ඔහුගෙන් ගෙන කාසි දසය ඇත්තාට දෙන්නැ’යි කී ය.
25එවිට ඔව්හු, ‘ස්වාමීනි ඔහුට කාසි දසයක් ඇතැ’යි කී හ.
26‘ඇති හැමට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති අයගෙන් ඇති දෙයත් ගනු ලැබේ ය යි මම ඔබට කියමි.
27එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”
28උන් වහන්සේ මෙවදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක.