කියවීම්
2026 නොවැම්බර් 7
Saturday of the Thirty-first Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
පිලිප්පි 4:10-19
10බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිඳාණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිණි. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය.
11මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි.
12මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි.
13මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.
14කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද?
15පිලිප්පිවරුනි, මාගේ ධර්මදූත සේවයේ මුල් අවදියේ දී මා මසිදෝනියෙන් නික්ම ගිය විට, ඔබ හැර අන් කිසි සභාවක් මගේ අය වැය සම්බන්ධයෙන් මට හවුල් නො වූ බව ඔබ ම දන්නහු ය.
16තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය.
17මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකය යි.
18දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.
19මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.
Responsorial Psalm
ගීතාවලිය 112:1-2, 5-6, 8, 9
1සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
2ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.
5දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
6මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
8ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.
9ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
Alleluia
2 කොරින්ති 8:9
9අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 16:9-15
9එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත.
10අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි.
11එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද?
12අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද?
13ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”
14පරිසිවරු ධනලෝභී අය වූ හෙයින් මෙවදන් අසා උන් වහන්සේට සරදම් කළහ.
15එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක. ”ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.