කියවීම්
2027 ජනවාරි 12
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
හෙබ්‍රෙව් 2: 5-12
5අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක.
6එසේ නොව, ශුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි. ”ඔබ, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? නොහොත්, යම් මිනිසෙකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කිමෙක් ද?
7ඔබ ඔහු, ටික කලකට දේව දූතයන්ට වඩා පහත් කළ සේක. ඔබ තෙජස ද ගෞරවය ද නමැති කිරුළ ඔහුට පැළඳ වූ සේක.
8ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.” එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ.
9එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.
10මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.
11මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී:
12මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි, සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි වදාරන සේක.
Responsorial Psalm
ගීතාවලිය 8: 2ab and 5, 6-7, 8-9
2කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
5එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
6ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
7ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
8ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.
9දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
Alleluia
1 තෙසලෝනික 2: 13
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 1: 21-28
21ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.
22උන් වහන්සේගේ අනුශාසනාව ගැන ඔව්හු විස්මිත වූ හ. මන්ද, උන් වහන්සේ විනයධරයන් මෙන් නොව බලධාරී කෙනෙකු මෙන් අනුශාසනා කළ හෙයිනි.
23එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය.
24ඔහු මෙසේ මොරහඬ දුනි: ”නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.”
25ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, ”කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක.
26එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය.
27ඒ දුටු සියල්ලෝ ම මවිත වී, ”මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන් උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ.
28එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය.