කියවීම්
2027 ජනවාරි 20
Ordinary Weekday/ Fabian, Pope, Martyr/ Sebastian, Martyr
Sebastian, Martyr
First Reading
හෙබ්‍රෙව් 7: 1-3, 15-17
1මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය.
2ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය.
3තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.
15මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණි නිසා මේ කරුණ වඩාත් පැහැදිලි ය.
16උන් වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව, අමරණීය ජීවිතයක බල මහිමය අනුව ය.
17මන්ද: ”ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.
Responsorial Psalm
ගීතාවලිය 110: 1, 2, 3, 4
1සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, ”මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
2සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
Alleluia
ශුද්ධ වූ මතෙව් 4: 23
23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 3: 1-6
1තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය.
2එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ.
3උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, ”නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා
4ඉන්පසු, ”සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ.
5උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා ”ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.
6එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.