ජනවාරි 2027

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2027 ජනවාරි 29

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

හෙබ්‍රෙව් 10: 32-39

32ඔබ සත්‍යාලෝකය ලැබුවායින් පසු, දුක් පීඩා හා සමඟ මහා සටනක යෙදෙමින් ස්ථීර ව සිටි ඒ මුල් කාලය සිහි කරන්න. 33නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබූවන් සමඟ හවුල්කාරයෝ ද වූවහු ය. 34ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය. 35මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න. 36දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය. 37ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: ”එන්නට සිටින තැනැන් වහන්සේ පමා නොවී, තව මඳ කලෙකින් වඩින සේක. 38ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.” 39එසේ වුව ද පසුබට වී විනාශ වන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත.
Responsorial Psalm

ගීතාවලිය 37: 3-4, 5-6, 23-24, 39-40

3සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. 4සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත. 5ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත. 6හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. 23සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක. 24ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක. 39හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. 40හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11: 25

25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel

ශුද්ධ වූ මාර්ක් 4: 26-34

26තවද, උන් වහන්සේ කතා කරමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; 27රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි. 28පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි. 29ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක. 30තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද? 31එය අබ ඇටයකට සමාන ය. එය පොළොවේ වපුරන කල මිහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත්, 32වපුළායින් පසුව වැඩී, සියලු ම පැළෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න හැකි වන තරම් විශාල අතු එය විහිදුවන්නේ ය.” 33උන් වහන්සේ මෙවැනි උපමා රැසක් මඟින්, අසන්නන්ට තේරුම්ගත හැකි පමණට දහම් දෙසූ සේක. 34උපමාවක් නැති ව උන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත්, උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක.