කියවීම්
2027 ජනවාරි 14
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
හෙබ්‍රෙව් 3: 7-14
7එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක: ”අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,
8පාළුකරයේ දී නුඹලා උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
9එහි දී නුඹලාගේ පියවරු සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.
10එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී: ‘ඔව්හු නිතර ම සිතින් මුළා වෙති; මාගේ මාර්ග ද ඔව්හු තේරුම් නොගත්හ.
11ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”
12එබැවින් සහෝදරයෙනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න.
13ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න.
14මන්ද, මුලදී අප තුළ වූ විශ්වාසය, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නම්, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ.
Responsorial Psalm
ගීතාවලිය 95: 6-7c, 8-9, 10-11
6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
10සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි: ‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.
11කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”
Alleluia
ශුද්ධ වූ මතෙව් 4: 23
23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 1: 40-45
40එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, ”ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය.
41උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක.
42එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය.
43උන් වහන්සේ, ”මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී,
44යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.
45එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.