ජනවාරි 2027

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2027 ජනවාරි 30

Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary

Optional Memorial of the Blessed Virgin Mary
First Reading

හෙබ්‍රෙව් 11: 1-2, 8-19

1ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය යි. අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකම යි. 2තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ. 8ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය. 9ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය. 10මන්ද, දෙවියන් වහන්සේ ම, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති, නගරය ගැන ඔහු බලා සිටියේ ය. 11ඇදහිල්ලෙන්, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය. 12එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා, ගණනින් අහසේ තරු මෙන් ද, මුහුදු වෙරළේ අසංබ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය. 13ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ. 14මෙබඳු දේ ප්‍රකාශ කරන අය, තමන්ගේ ම මවුබිමක් සොයන බව මැනවින් පැහැදිලි කරති. 15ඔව්හු තමන් හැරදමා ආ රට ගැන ම සිත සිතා සිටියහු නම්, පෙරළා එහි යාමට ඔවුන්ට අවස්ථා තිබිණි. 16එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය. 17ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල, ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙළේ ය. 18ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය” යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත්, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම් ව සිටියේ ය. 19මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය. උපමානුසාරයෙන් කියතොත්, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය.
Responsorial Psalm

ශුද්ධ වූ ලූක් 1: 69, 70-72, 73-75

69සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක. 70එසේ වූයේ, පෙර ශුද්ධ දිවැසිවරුන්ගේ මුවින් පැවසූ ලෙස ය. 71රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක; 72මෙ‍සේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක. 73එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය. 74මෙ‍සේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්, 75එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 3: 16

16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 4: 35-41

35එදා සවස් වූ කල, ”අපි එගොඩ යමු”යි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. 36ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි. 37එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය. 38උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, ”ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ. 39උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, ”නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. 40උන් වහන්සේ ද, ”ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක. 41ඔව්හු මහත් භීතියකින් ඇලළී, ”මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.