කියවීම්
2027 ජනවාරි 13
Ordinary Weekday/ Hilary, Bishop, Doctor
Hilary, Bishop, Doctor
First Reading
හෙබ්‍රෙව් 2: 14-18
14එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට,
15දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත් ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිස ය.
16මන්ද, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව, ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අය ය.
17එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.
18උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.
Responsorial Psalm
ගීතාවලිය 105: 1-2, 3-4, 6-7, 8-9
1සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
2එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
3එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
4සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.
6එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
8එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක. ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10: 27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ මාර්ක් 1: 29-39
29ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ.
30සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ.
31උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.
32සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ.
33නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ.
34උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.
35හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.
36සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්,
37සම්මුඛ වී, ”හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ.
38උන් වහන්සේ උත්තර දෙමින්, ”අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක.
39උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.