කියවීම්
2027 ජනවාරි 27
Ordinary Weekday/ Angela Merici, Virgin, Religious Founder
Angela Merici, Virgin, Religious Founder
First Reading
හෙබ්‍රෙව් 10: 11-18
11තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි.
12එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
13එහි උන් වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක.
14මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක.
15ශුද්ධාත්මයාණන් වහන්සේත් අපට සාක්ෂි දෙමින්:
16ඒ දවස්වලින් පසු මා ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී පසු, යළිත්:
17ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි”යි කියන සේක.
18කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත.
Responsorial Psalm
ගීතාවලිය 110: 1, 2, 3, 4
1සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, ”මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
2සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 4: 1-20
1නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය.
2උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:
3සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි.
4ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය.
5තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය.
6හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය.
7අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය.
8තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය.
9සවන් ඇත්තෝ සවන් දෙත් වා!”
10උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ.
11උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ.
12එසේ වන්නේ: ‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය. මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ ”
13තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද?
14වපුරන්නා වචනය වපුරයි.
15මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය.
16ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්,
17තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය.
18සෙස්සෝ, කටු අතරේ වැපුරූ බීජවලට සමාන ය. ඔවුන් වචනය ඇසූ නමුත්,
19මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති.
20සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.”