කියවීම්
2027 ජනවාරි 11
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
හෙබ්‍රෙව් 1: 1-6
1දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.
2එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.
3උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
4මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුම් වන සේක.
5මන්ද: ”ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි”යි කියාත්, ”මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය” කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක.
6උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි වදාරන සේක.
Responsorial Psalm
ගීතාවලිය 97: 1 and 2b, 6 and 7c, 9
1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
6දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
7රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!
9සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 1: 15
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Gospel
ශුද්ධ වූ මාර්ක් 1: 14-20
14ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක.
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
16උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ.
17ජේසුස් වහන්සේ ඒ දැක, ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
18එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.
20ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.