කියවීම්
2027 පෙබරවාරි 3
Ordinary Weekday/ Blase, Bishop, Martyr/ Ansgar, Bishop, Missionary
Ansgar, Bishop, Missionary
First Reading
හෙබ්‍රෙව් 12: 4-7, 11-15
4පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත.
5දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? ”මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:
6මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”
7ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද?
11දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ.
12එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න.
13කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.
14සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න.
15කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,
Responsorial Psalm
ගීතාවලිය 103: 1-2, 13-14, 17-18a
1මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.
2මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
13පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
14මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක; අප ධූලි බව සිහි කරන සේක.
17සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.
18එතුමන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්, එතුමන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10: 27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ මාර්ක් 6: 1-6
1උන් වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පිරිවරා ගියහ.
2එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, ”මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද?
3මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ.
4ජේසුස් වහන්සේ කතා කරමින්, ”දිවැසිවරයෙකුට ගරුබුහුමන් නැත්තේ සිය ගමේ දීත්, නෑදෑයන් අතර දීත්, තම ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක.
5එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය.
6ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක.