කියවීම්
2027 පෙබරවාරි 12
Friday After Ash Wednesday. Day of Abstinence from Meat (Age 14 and up).
දවසේ දේව මෙහෙය
First Reading
යෙසායා 58: 1-9a
1සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
2ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”
3සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: ”නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
4නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.
5නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?
6මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.
7සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
8එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
9එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
Responsorial Psalm
ගීතාවලිය 51: 3-4, 5-6ab, 18-19
3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
5පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.
6සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.
18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.
Verse Before the Gospel
ආමොස් 5: 14
14ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 9: 14-15
14එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, ”පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.
15ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.