කියවීම්
2027 පෙබරවාරි 23
Lenten Weekday/ Polycarp, Bishop, Martyr
Polycarp, Bishop, Martyr
First Reading
යෙසායා 1: 10, 16-20
10එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
16ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.
17යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න.
18‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. ”නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
19නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.
20අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.” සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 50: 8-9, 16bc-17, 21 and 23
8නුඹලාගේ පූජා ගැන වත්, නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැන වත් මම දොස් නොපවරමි.
9එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත.
16එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: ”නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?
17මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.
21මේ සියල්ල නුඹ කෙළෙහි ය; මම කිසිවක් නොකීවෙමි. ඒ නිසා ‘මාත් නුඹ වාගේ ම ය’යි නුඹ සිතුවෙහි ය. එහෙත්, දැන් මම නුඹට දොස් පවරන්නෙමි; නුඹට කරුණු පහදා දෙන්නෙමි.
23ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”
Verse Before the Gospel
එසකියෙල් 18: 31
31නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?
Gospel
ශුද්ධ වූ මතෙව් 23: 1-12
1එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක:
2විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
3එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.
4ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.
5ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.
6මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද,
7වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
8එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
9මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
11එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.
12තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.