කියවීම්
2027 පෙබරවාරි 28
Third Sunday of Lent / Scrutiny
Lenten
First Reading
නික්මයාම 20: 1-17
1දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක:
2වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.
3මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.”
4නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න.
5නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
6එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
7නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”
8සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න.
9දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය.
10එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය.
11මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
12නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
13මිනී නොමරව.
14කාමමිථ්‍යාචාරය නොකරව.
15සොරකම් නොකරව.
16නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.
17නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”
Responsorial Psalm
ගීතාවලිය 19: 8, 9, 10, 11
8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
Second Reading
1 කොරින්ති 1: 22-25
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 3: 16
16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 2: 13-25
13ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක.
14එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක,
15ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක.
16ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, ”මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක.
17ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය.
18එකල ජුදෙව්වරු, ”ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ.
19ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක.
20එවිට ජුදෙව්වරු කතා කොට, ”මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ.
21එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය.
22උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.
23උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි සිටි කල්හි, බොහෝ දෙනෙක් උන් වහන්සේ කළ හාස්කම් දැක, උන් වහන්සේ අදහාගත්හ.
24එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය.
25මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.
Scrutiny
First Reading
නික්මයාම 17: 3-7
3සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, ”ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ.
4මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, ”මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.
5එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ”ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය.
6බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය.
7ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.
Responsorial Psalm
ගීතාවලිය 95: 1-2, 6-7, 8-9
1එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු.
6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
Second Reading
රෝම 5: 1-2, 5-8
1අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත.
2තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන් වහන්සේ ය. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.
5එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.
6අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක.
7සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි.
8අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 4: 42, 15
42ඔව්හු ස්ත්‍රියට කතා කොට, ”දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ.
15ස්ත්‍රිය කතා කරමින්, ”මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 4: 5-42
5උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක.
6ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය.
7එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. ”මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
8එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය.
9සමාරීය ස්ත්‍රිය ද, ”ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි.
10ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.
11ස්ත්‍රිය ද, ”මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද?
12මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.
13ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, ”මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය.
14එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.
15ස්ත්‍රිය කතා කරමින්, ”මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය.
16ජේසුස් වහන්සේ ඈ අමතා, ”යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක.
17ස්ත්‍රිය පිළිතුරු දෙමින්, ”මට ස්වාමි පුරුෂයෙක් නැතැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ද, ” ‘මට ස්වාමි පුරුෂයෙක් නැතැ’යි ඔබ කීවා හරි ය;
18මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.
19ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, ”මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ.
20එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය.
21ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.
22ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.
23එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය.
24දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක.
25ස්ත්‍රිය පිළිතුරු දෙමින්; ” ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය.
26මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක.
27ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, ”ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, ”ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත.
28ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා, නුවරට ගොස්,
29එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.
30ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ.
31ඒ අතර ශ්‍රාවකයෝ, ”ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය.
32එහෙත් උන් වහන්සේ, ”ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
33යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ”යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ.
34ජේසුස් වහන්සේ ඔවුන් අමතා, ”මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.
35තව හාරමාසයක් ගත වූ විට අස්වැන්න පැමිණේ යයි ඔබ කියන්නේ නැද් ද? එහෙත් මම ඔබට කියමි: බලන්න, ඔබේ ඇස් ඇර කුඹුරු නරඹන්න; මන් ද? ඒවා දැනට ම අස්වැන්න සඳහා පැසී ඇත.
36ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය.
37මෙයින්, ‘එක් කෙනෙක් වපුරයි, තව කෙනෙක් කපයි’ යන කීම සැබෑ වෙයි.
38ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක.
39මා කළ සියල්ල උන් වහන්සේ මට වදාළ සේකැ”යි සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා, ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.
40එබැවින් සමාරියයෝ උන් වහන්සේ වෙතට පැමිණි කල, තමන් සමඟ නවතින ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ ද දෙදවසක් එහි නැවතුණ සේක.
41තවත් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ ම වචනය නිසා අදහාගත්තෝ ය.
42ඔව්හු ස්ත්‍රියට කතා කොට, ”දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ.