පෙබරවාරි 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28
අද දිනට

කියවීම්

2027 පෙබරවාරි 9

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

උත්පත්ති කථාව 1: 20 - 2: 4a

20ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, ”පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. 21මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 22තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, ”පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක. 23සවස ගත විය, උදය උදා විය, ඒ පස් වන දවස ය. 24ඉන්පසු දෙවියන් වහන්සේ; ”විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය. 25මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 26ඉන්පසු දෙවියන් වහන්සේ; ”අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක. 27දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. 28දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 29තවද, උන් වහන්සේ, ”මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! 30එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය. 31දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය. 1මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය. 2දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක. 3මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි. 4අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය.
Responsorial Psalm

ගීතාවලිය 8: 4-5, 6-7, 8-9

4මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය. 5එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. 6ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 7ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක. 8ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක. 9දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
Alleluia

ගීතාවලිය 119: 36, 29b

36අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව. 29වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
Gospel

ශුද්ධ වූ මාර්ක් 7: 1-13

1තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය. 3පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ. 6උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ: ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මගෙන් දුරු ව සිටිති. 7මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’ 8ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක. 9උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය. 10මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත. 11එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු 12එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. 13මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.