පෙබරවාරි 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28
අද දිනට

කියවීම්

2027 පෙබරවාරි 26

Lenten Weekday. Day of Abstinence from Meat (Age 14 and up).

දවසේ දේව මෙහෙය
First Reading

උත්පත්ති කථාව 37: 3-4, 12-13a, 17b-28

3ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි. 4ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය. 12ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. 13එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, ”නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි”යි කී විට, ජෝසෙප් ද, ”මම ලෑස්ති ය” කියා උත්තර දුනි. 17එවිට ඒ මිනිසා, ”ඔබේ සහෝදරයන් මෙතැනින් යන්න ඇත. ‘අපි දොතාන් නම් පෙදෙසට යමු’යි ඔවුන් කියනු මට ඇසිණි”යි කීවේ ය. එවිට ජෝසෙප් තම සොහොයුරන් සොයා යන විට, දොතාන්හි දී ඔව්හු ඔහුට හමු වූ හ. 18ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. 19ඔව්හු එකිනෙකා අමතමින්, ”ඔය එන්නේ ස්වප්නකාරයා. 20දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ. 21රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, ”අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය. 22තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, ”ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය. 23ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, 24ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය. 25ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ. 26එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, ”අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? 27එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. 28මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.
Responsorial Psalm

ගීතාවලිය 105: 16-17, 18-19, 20-21

16සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක. 17එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක. එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය. 18ඔහුගේ පාදවලට විලංගු දමන ලදී; ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී. 19ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී. 20එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය. ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය. 21රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය. මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය.
Verse Before the Gospel

ශුද්ධ වූ ජොහන් 3: 16

16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 21: 33-43, 45-46

33ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය. 34අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. 35එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. 36යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ. 37අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. 38එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට, 39ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ. 40එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?” 41ඔව්හු කතා කොට, ”ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ. 42ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ” ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද? 43එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය. 45නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන, 46උන් වහන්සේ අල්ලාගන්න තැත් කළහ. එහෙත්, ‘උන් වහන්සේ දිවැසිවරයෙකැ’යි ජනතාව සැලකූ හෙයින් ඔව්හු ඔවුන්ට බිය වූ හ.