කියවීම්
2027 පෙබරවාරි 25
Lenten Weekday
දවසේ දේව මෙහෙය
First Reading
ජෙරමියා 17: 5-10
5සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.
6ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.
7සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන, සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි.
8ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති; ගිම්හානයට කිසි බියක් නැති; කොළ පර වී යාමක් නැති; නියඟ කාලය ගැන කරදර නැති; නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.
9අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?
10සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
Responsorial Psalm
ගීතාවලිය 1: 1-2, 3, 4 and 6
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
Verse Before the Gospel
ශුද්ධ වූ ලූක් 8: 15
15සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
Gospel
ශුද්ධ වූ ලූක් 16: 19-31
19අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.
20ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී.
21ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය.
22ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය.
23ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක,
24මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙනි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය.
25එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය.
26එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය.
27එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙනි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති;
28ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙන් ඉල්ලමි’යි කී ය.
29එහෙත්, ආබ්‍රහම් කතා කොට: ‘මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා’යි කී ය.
30ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙනි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය.
31ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.”