පෙබරවාරි 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28
අද දිනට

කියවීම්

2027 පෙබරවාරි 5

Agatha, Virgin, Martyr Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

හෙබ්‍රෙව් 13: 1-8

1සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න. 2ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ. 3සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න. 4විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත. 5ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, ”මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ. 6මෙසේ: ”සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන. 7දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න. 8ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.
Responsorial Psalm

ගීතාවලිය 27: 1, 3, 5, 8b-9abc

1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත. 3බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි. 5විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක. 8මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, ”ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි. 9මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.
Alleluia

ශුද්ධ වූ ලූක් 8: 15

15සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
Gospel

ශුද්ධ වූ මාර්ක් 6: 14-29

14එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතළ වී ගිය බැවින් හෙරොද් රජුට එපවත් සැළ විය. සමහරු, ”ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ඇත; මේ බලමහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසා ය”යි කී හ. 15එහෙත් සමහරු, ”මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, ”මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ. 16එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, ”මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය. 17හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය. 18ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, 19හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. 20මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය. 21සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මො‍්ත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 22එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, ”ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය. 23තවද, ”ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. 24ඈ පිටතට ගොස්, ”මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. ”ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය. 25එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, ”ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය. 26රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. 27එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා 28එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. 29ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.