පෙබරවාරි 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28
අද දිනට

කියවීම්

2027 පෙබරවාරි 8

Ordinary Weekday/ Jerome Emiliani, Priest, Religious Founder/ Josephine Bakhita, Virgin

Josephine Bakhita, Virgin
First Reading

උත්පත්ති කථාව 1: 1-19

1ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. 2පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. a දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. 3එවිට දෙවියන් වහන්සේ, ”ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. 4ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර 5ආලෝකයට ”දවාල” කියා ද, අන්ධකාරයට ”රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. 6ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 7මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර 8‍‍‍‍අහස් කුසට ”අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. 9ඉන්පසු දෙවියන් වහන්සේ, ”ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 10ගොඩබිමට ”පොළොව” කියා ද, ජලයට ”සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක. 11එවිට දෙවියන් වහන්සේ, ”බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 12මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 13සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය. 14ඉන්පසු දෙවියන් වහන්සේ, ”දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, 15පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. 16මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක. 17දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්, 18දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 19සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය.
Responsorial Psalm

ගීතාවලිය 104: 1-2a, 5-6, 10 and 12, 24 and 35c

1මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක. 2ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක. 5පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක. 6උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය. 10සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලා යයි. 12ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති; අතු අතරේ ගී නද දෙති. 24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත; 35පව්කාරයෝ පොළො‍් තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Alleluia

ශුද්ධ වූ මතෙව් 4: 23

23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 6: 53-56

53ඔව්හු එගොඩ වී ගෙන්නෙසෙරෙත් රටට පැමිණ ඔරුව වෙරළෙහි බැන්දෝ ය. 54ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙණෙහි ම ජනයා උන් වහන්සේ හැඳිනගත්හ. 55ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ. 56උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.