කියවීම්
2027 පෙබරවාරි 21
Second Sunday of Lent
දවසේ දේව මෙහෙය
First Reading
උත්පත්ති කථාව 22: 1-2, 9a, 10-13, 15-18
1ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, ”ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ”ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.
2එවිට උන් වහන්සේ ”නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
9මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.
10මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය.
11එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, ”ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. ”මම මෙහි සිටිමි”යි ඔහු කී ය.
12එවිට දූතයා, ”ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.
13එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
15සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට,
16සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්
17මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.
18ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 116: 10, 15, 16-17, 18-19
10මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.
15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
19සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි.
Second Reading
රෝම 8: 31b-34
31කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?
32උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද?
33දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.
34එසේ නම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක් ද? අප උදෙසා මැරුණේත්, අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන් වහන්සේ ය.
Verse Before the Gospel
ශුද්ධ වූ මතෙව් 17: 5
5ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
Gospel
ශුද්ධ වූ මාර්ක් 9: 2-10
2සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක.
3මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි.
4එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.
5එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය.
6ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය.
7තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.
8හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය.
9ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක.
10එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, ”මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.