කියවීම්
2027 ජූනි 26
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary
Optional Memorial of the Blessed Virgin Mary
First Reading
උත්පත්ති කථාව 18: 1-15
1තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.
2ඔහු නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි! තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටී ය. ඔවුන් දුටු විට ඔහු ඔවුන් හමුවීමට ගොස් හිස නමා, වැඳ වැටුණේ ය.
3මෙසේ ආචාර කොට, ”ස්වාමීනි, කරුණාකර, ඔබේ දාසයා ළඟ නැවතී යන මෙන් ඉල්ලමි.
4මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.
5මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, ”ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.
6ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, ”හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.
7තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය.
8තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.
9එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, ”නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. ”ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි.
10එවිට අමුත්තා කතා කොට, ”දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි.
11ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි.
12එබැවින් සාරා, ”දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.
13එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, ”මහලු වියට පැමිණි පසුත් හැබෑවට ම දරු උපතක් ලැබිය හැකි දැ යි කියාගනිමින් සාරා සිනාසුණේ ඇයි?
14සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.
15සාරා ද බිය වී, ”මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, ”නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය.
Responsorial Psalm
ශුද්ධ වූ ලූක් 1: 46-47, 48-49, 50 and 53, 54-55
46එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය: ”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. හැම පරපුරක් ම මෙතැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. ‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
53සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
55සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
Alleluia
ශුද්ධ වූ මතෙව් 8: 17
17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 8: 5-17
5උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්,
6ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.
7මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
8ශතාධිපතියා උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත.
9මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය.
10ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.
11තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය.
12එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක.
13ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, ”යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය.
14ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක,
15ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය.
16සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක.
17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.