කියවීම්
2027 ජූනි 6
Tenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
උත්පත්ති කථාව 3: 9-15
9එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, ”නුඹ කොහේ දැ”යි ඇසූ සේක.
10ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.
11එවිට උන් වහන්සේ, ”නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.
12ඔහු ද පිළිතුරු දෙමින්, ”ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය.
13එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, ”නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. ”සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.
14එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: ”තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.
15තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
Responsorial Psalm
ගීතාවලිය 130: 1-2, 3-4, 5-6, 7-8
1සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.
2සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
3සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
4එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
5මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
6පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
7එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.
8එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.
Second Reading
2 කොරින්ති 4: 13 - 5:1
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 12: 31b-32
31මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ.
32තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 3: 20-35
20උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ.
21උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, ”උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.
22ජෙරුසලමෙන් ආ විනයධරයෝ, ”මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, ”දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ.
23එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද?
24යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය.
25යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය.
26සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ.
27එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි.
28සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය.
29එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.”
30මෙසේ වදාළේ, ”උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි.
31එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ.
32සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, ”අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ.
33උන් වහන්සේ උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්,
34තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, ”මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ!
35දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.