කියවීම්
2027 ජූනි 11
Barnabas, Apostle Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 11: 21b-26; 13: 1-3
21සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
22ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ.
23ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.
24බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ.
25බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්,
26ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.
1අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය.
2ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, ”මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.
3එවිට ඔව්හු උපවාසයේ යෙදී යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත් කර යැවූ හ.
Responsorial Psalm
ගීතාවලිය 98: 1, 2-3ab, 3cd-4, 5-6
1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
Alleluia
පිලිප්පි 2: 15d, 16a
15එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,
16ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.
Gospel
ශුද්ධ වූ මතෙව් 5: 27-32
27‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත.
28එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත.
29වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
30වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
31තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත.
32එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”