කියවීම්
2027 ජූනි 25
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
උත්පත්ති කථාව 17: 1, 9-10, 15-22
1ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: ”මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
9දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ”නුඹ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතු ය.
10නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය.
15තවද, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, ”නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ.
16මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක.
17එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, ”සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.
18ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට කතා කොට, ”ඔබ වහන්සේ ඉෂ්මායෙල් රැක බලා දෙන සේක් වා!”යි කී ය.
19එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, ”සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
20ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි.
21එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක.
22මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත් ව ගිය සේක.
Responsorial Psalm
ගීතාවලිය 128: 1-2, 3, 4-5
1සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.
2මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.
3ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
4සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.
5සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
Alleluia
ශුද්ධ වූ මතෙව් 8: 17
17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 8: 1-4
1උන් වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.
2එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, ”ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය.
3උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය.
4ජේසුස් වහන්සේ කතා කොට, ”මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක.