ජූනි 2027

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2027 ජූනි 28

Irenaeus, Bishop, Martyr Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

උත්පත්ති කථාව 18: 16-33

16අමුත්තෝ තිදෙන ද එතැනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූ හ. ආබ්‍රහම් ද මඟපෙන්වීමට ඔවුන් සමඟ ගියේය. 17සමිඳාණන් වහන්සේ: ”මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? 18මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත. 19ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක. 20පසුව උන් වහන්සේ කතා කොට, ”සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද? 21එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක. 22එවිට අමුත්තෝ එතැනින් නික්ම සොදොම් බලා පිටත් වූ හ. එහෙත්, ආබ්‍රහම් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ම නැවතී සිටියේ ය. 23ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, ”සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද? 24හොඳයි! නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම්, මේ පණස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද? 25අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය. 26එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”සොදොම් නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක. 27ආබ්‍රහම් නැවතත් කතා කරමින්, ”අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න. 28හොඳයි! නුවරෙහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම් පස්දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක් දැ”යි ඇසී ය. ”එහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම්, මම එය නොවනසමි”යි උන් වහන්සේ වදාළ සේක. 29ආබ්‍රහම් යළිත් කතා කරමින්, ”ඇතැම් විට එහි දමිටුන් සතළිස්දෙනෙකු සිටින්නට පුළුවනැ”යි කී ය. ”ඒ සතළිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක. 30ආබ්‍රහම් නැවතත් කතා කරමින්, ”ස්වාමීනි, ඔබ මා සමඟ නොකිපෙන සේක් වා! මම නැවතත් කතා කරමි. හොඳයි! එහි තිස්දෙනෙකු පමණක් සිටින්නට පුළුවනැ”යි කී ය. ”ඒ තිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ ද උත්තර දුන් සේක. 31ආබ්‍රහම් තවදුරටත් කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ සමඟ වාද කිරීමට ඉදිරිපත් වීම ගැන කමා වන්න. හොඳයි! එහි දමිටුන් විසිදෙනෙක් පමණක් ඇතැ යි හිතමු”යි කී ය. ”ඒ විසිදෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ පිළිතුරු දුන් සේක. 32එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: ”සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” ”ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක. 33ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.
Responsorial Psalm

ගීතාවලිය 103: 1b-2, 3-4, 8-9, 10-11

1මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. 2මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. 3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. 4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. 8සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය. 9එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක. 10එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක. 11මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
Alleluia

ගීතාවලිය 95: 8

8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel

ශුද්ධ වූ මතෙව් 8: 18-22

18ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. 19එවිට විනයධරයෙක් පැමිණ, ”ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය. 20ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක. 21ශ්‍රාවකයින්ගෙන් තවත් කෙනෙක් කතා කරමින්, ”ස්වාමීනි, පළමු කොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට අවසර දුන මැනවැ”යි කී ය. 22ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක.