කියවීම්
2027 ජූලි 1
Ordinary Weekday/ Blessed Junipero Serra, Priest, Religious, Missionary
Blessed Junipero Serra, Priest, Religious, Missionary
First Reading
උත්පත්ති කථාව 22: 1b-19
1ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, ”ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ”ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.
2එවිට උන් වහන්සේ ”නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
3ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.
4තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය.
5එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, ”කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය.
6මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ.
7මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, ”තාත්තේ” කියා ඇමතූ විට, ”පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, ”තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය.
8එවිට ආබ්‍රහම්, ”පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.
9මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.
10මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය.
11එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, ”ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. ”මම මෙහි සිටිමි”යි ඔහු කී ය.
12එවිට දූතයා, ”ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.
13එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
14තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට ”ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා ”සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.
15සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට,
16සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්
17මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.
18ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය.
19ආබ්‍රහම් පසු ව තම සේවකයන් වෙත ආපසු ගිය විට, ඔව්හු සියල්ලෝ ම නැඟිට ගොස් බෙයර්-ෂෙබාවෙහි පදිංචි වූ හ.
Responsorial Psalm
ගීතාවලිය 115: 1-2, 3-4, 5-6, 8-9
1සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.
2ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද?
3අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.
4ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය.
5ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;
6කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;
8ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.
9එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
Alleluia
2 කොරින්ති 5: 19
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 9: 1-8
1ජේසුස් වහන්සේ ඔරුවට නැඟී, එගොඩ වී, සිය නුවරට පැමිණි සේක.
2එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක.
3එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, ”මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.
4ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ”කුමක් නිසා නපුරු දේ සිතන්නහු ද?
5වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද?
6එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, ”නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක.
7එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය.
8සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.