පෙබරවාරි 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
අද දිනට

කියවීම්

2026 පෙබරවාරි 3

Tuesday of the Fourth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ දෙ වන පොත 18:9-10, 14, 24-25, 30-19:3

9අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය. 10එක්තරා මිනිසෙක් ඒ දැක, ජෝවාබ්ට ඒ බව දන්වමින්, ”අබ්සලොම් ආලෝන ගසක එල්ලී සිටිනු දිටිමි”යි කීවේ ය. 14එවිට ජෝවාබ්, ”මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නො‍හැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. 24දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය. 25මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, ”ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය. 30රජ ද, ”පැත්තකට වී මෙහි සිටින්නැ”යි ඔහුට කී ය. ඔහු පැත්තකට වී සිටියේ ය. 31එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය. 32එවිට රජ, ”තරුණ අබ්සලොම් සුව සේ සිටී දැ”යි කුෂීය ජාතිකයාගෙන් ඇසී ය. කුෂීය ජාතිකයා ද, ”මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරෝ ද ඔබට අනතුරු කරන්නට ඔබට විරුද්ධ ව නැඟී සිටින සියල්ලෝ ද ඒ තරුණයා මෙන් වෙත්වා”යි උත්තර දුන්නේ ය. 33එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, ”අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය. 1රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා ජෝවාබ්ට දන්වන ලද්දේ ය. 2රජ සිය පුත්‍රයා ගැන ශෝක වන්නේ යයි එදින ම මුළු ජනයාට සැළ වුණ බැවින් ඒ දවසේ ඇති වූ ජය ගීය විලාප ගීයකට හැරිණි. 3මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 86:1-2, 3-4, 5-6

1සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය. 2මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව; ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව. 3මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි. 4ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි. 5මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක. 6සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.
Alleluia

ශුද්ධ වූ මතෙව් 8:17

17මෙසේ වූයේ: ”උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 5:21-43

21ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක. 22එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී, 23මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය. 24උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ. 25දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවා ය. 26ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. 27ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය. 28උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය. 29එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි. 30එවේලේ ම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන, සමූහයා මැද හැරී, ”මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. 31උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, ”සමූහයා ඔබට තෙරපි තෙරපී සිටිනු දැක දැකත්, මට අත ගැසුවේ කවරෙක් ද කියා අසන සේක් දැ”යි කී හ. 32ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක. 33එහෙත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී, වෙවුළ වෙවුළා අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, මුළු ඇත්ත උන් වහන්සේට කීවා ය. 34උන් වහන්සේ කතා කරමින්, ”දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක. 35උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, ”ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ. 36එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, ”බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක. 37උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක. 38ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක, 39ගෙට පිවිස, ”ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක. 40එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් 41ඇය අතින් අල්ලා, ”තලිතාකුම්”යි ඈට වදාළ සේක. එහි අර්ථය: ”දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය. 42දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ. 43මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අණ දී, උන් වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළ සේක.