පෙබරවාරි 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
අද දිනට

කියවීම්

2026 පෙබරවාරි 11

Wednesday of the Fifth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

රාජාවලියේ පළමු වන පොත 10:1-10

1ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය. 2ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය. ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය. 3සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත. 4ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද 5ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය. 6එවිට ඈ රජුට කතා කොට, ”මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය. 7එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ. 8cඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය. 9ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය. 10තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.
Responsorial Psalm

ගීතාවලිය 37:5-6, 30-31, 39-40

5ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත. 6හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. 30දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති. 31ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති; ඒවා නොපිරිහෙළා රැකගනිති. 39හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. 40හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 17:17, 17

17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 7:14-23

14උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, ”ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. 15පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි; 16සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක. 17උන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන් ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන් වහන්සේගෙන් විචාළහ. 18උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්, 19ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන්‍ උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක. 20තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය. 21ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, 22සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. 23මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.