කියවීම්
2026 පෙබරවාරි 12
Thursday of the Fifth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
රාජාවලියේ පළමු වන පොත 11:4-13
4එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.
5මන්ද, සලමොන් සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල සහිත මිල්කොම් අනුව ගොස්,
6සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු තමාගේ පිය දාවිත් මෙන් සමිඳාණන් වහන්සේ අනුව මුළු සිතින් ගමන් කෙළේ නැත.
7එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.
8තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් සහ පූජා ඔප්පු කළ තමාගේ සියලු විජාතික භාර්යාවන්ටත් ඔහු එසේ ම සාදා දුන්නේ ය.
9මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.
10අන් දෙවිවරුන් පසුපස නොයන ලෙස තමාට අණ කළ සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ දේට ඔහු කීකරු වූයේ නැත.
11එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, ”නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.
12එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.
13තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 106:3-4, 35-36, 37 and 40
3යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.
4සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව; ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.
35ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය.
36ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය. ඒවා ඔවුන්ට මලපතක් විය.
37ඔව්හු තමන්ගේ දරුදැරියන් යක්ෂයන්ට පූජා කළෝ ය.
40එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.
Alleluia
ජාකොබ් 1:21
21එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
Gospel
ශුද්ධ වූ මාර්ක් 7:24-30
24උන් වහන්සේ එතැනින් නික්ම තීර් පෙදෙස් බලා පිටත් ව ගොස්, ගෙයකට ඇතුළු වූ සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත්, සැඟවී සිටීමට උන් වහන්සේට නොහැකි විය.
25එකෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන් වහන්සේ ගැන අසා අවුත් උන් වහන්සේගේ පාමුල වැටුණා ය.
26ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය.
27උන් වහන්සේ ඈට උත්තර දෙමින්, ”පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත් වා! දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම හරි නැතැ”යි වදාළ සේක.
28එහෙත් ඈ උත්තර දෙමින්, ”එසේය, ස්වාමීනි, මේසය යට සිටින බල්ලෝ වුව ද දරුවන්ගේ කෑමෙන් වැටෙන කැබෙලි අවුලා කති”යි උන් වහන්සේට කීවා ය.
29උන් වහන්සේ ද කතා කරමින්, ”මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න, දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරු ව ගියේ ය”යි ඈට වදාළ සේක.
30ඈ ගෙදර ගිය කල, ඇගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත්, දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවා ය.