පෙබරවාරි 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
අද දිනට

කියවීම්

2026 පෙබරවාරි 25

Wednesday of the First Week in Lent

දවසේ දේව මෙහෙය
Reading I

ජෝනා 3:1-10

1සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, ”තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය. 5නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. 6ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය. 7එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: ”මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! 8මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා! 9අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.” 10දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.
Responsorial Psalm

ගීතාවලිය 51:3-4, 12-13, 18-19

3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. 4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය. 12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. 13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. 18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව. 19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.
Verse Before the Gospel

ජෝවෙල් 2:12-13

12සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න. 13වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
Gospel

ශුද්ධ වූ ලූක් 11:29-32

29සමූහයා උන් වහන්සේ වෙත රැස් කකා එද්දී උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”මේ පරම්පරාව නපුරු එකකි; ඔව්හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. 30ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වී ද එසේ ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වන සේක. 31දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ. 32නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නො‍් ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.”