කියවීම්
2026 පෙබරවාරි 28
Saturday of the First Week of Lent
දවසේ දේව මෙහෙය
Reading I
ද්විතීය නීති සංග්‍රහය 26:16-19
16මෙදින දෙවි සමිඳාණන් වහන්සේ මේ නීති හා නියෝග පිළිපැදීමට ඔබට අණ කරන සේක. එබැවින් ඔබ, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඒවාට අවනත වී පිළිපැදිය යුතු ය.
17ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපණත් පිළිපැදීමටත්, උන් වහන්සේට කිකරුවීමටත් පොරොන්දු විය යුතු ය.
18ඔබ උන් වහන්සේගේ අණපණත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සේක.
19තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”
Responsorial Psalm
ගීතාවලිය 119:1-2, 4-5, 7-8
1නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
2එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.
4අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.
5ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
7ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.
8ඔබේ පණත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව.
Verse Before the Gospel
2 කොරින්ති 6:2
2මන්ද, ”ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.
Gospel
ශුද්ධ වූ මතෙව් 5:43-48
43‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත.
44එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
45මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.
46ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද?
47ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?
48එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”