පෙබරවාරි 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
අද දිනට

කියවීම්

2026 පෙබරවාරි 10

Memorial of Saint Scholastica, Virgin

දවසේ දේව මෙහෙය
Reading I

රාජාවලියේ පළමු වන පොත 8:22-23, 27-30

22ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය: 23ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක. 27එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද? 28එහෙත්, මාගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම හා යාච්ඤාව ඇසුව මැනව. 29‘මාගේ නාමය එහි වන්නේ ය’ කියා ඔබ යම් ස්ථානයක් ගැන වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ දෙනෙත් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. 30ඔබේ මෙහෙකරුවා ද ඔබේ ඉශ්රායෙල් සෙනඟ ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේ ය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව, අසා කමා වුව මැනව.
Responsorial Psalm

ගීතාවලිය 84:3, 4, 5 and 10, 11

3සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත. 4ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය. 5වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද? 10ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. 11සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
Alleluia

ගීතාවලිය 119:36, 29

36අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව. 29වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
Gospel

ශුද්ධ වූ මාර්ක් 7:1-13

1තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය. 3පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ. 6උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ: ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මගෙන් දුරු ව සිටිති. 7මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’ 8ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක. 9උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය. 10මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත. 11එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු 12එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. 13මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.