පෙබරවාරි 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
අද දිනට

කියවීම්

2026 පෙබරවාරි 4

Wednesday of the Fourth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ දෙ වන පොත 24:2, 9-17

2රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, ”සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය. 9ජෝවාබ් ගණන් කළ සෙනඟගේ මුළු ගණන රජුට දැන්වී ය. අවි ආයුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඉශ්රායෙල්හි අටලක්ෂයක් ද ජුදාහි පන්ලක්ෂයක් ද වූ හ. 10දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, ”මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය. 11දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: ”නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න: 12‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය. 13ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, ”ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නො‍හොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නො‍හොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය. 14දාවිත් පිළිතුරු දෙමින්, ”මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නො‍වෙම්වා”යි ගාද්ට කී ය. 15මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය. 16දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, ”ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය. 17දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, ”මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය.
Responsorial Psalm

ගීතාවලිය 32:1-2, 5, 6, 7

1අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි. 2වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි. 5මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. ”හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දො‍්ෂ කමා කළ සේක. 6එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි. 7මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10:27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ මාර්ක් 6:1-6

1උන් වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පිරිවරා ගියහ. 2එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, ”මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද? 3මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. 4ජේසුස් වහන්සේ කතා කරමින්, ”දිවැසිවරයෙකුට ගරුබුහුමන් නැත්තේ සිය ගමේ දීත්, නෑදෑයන් අතර දීත්, තම ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. 5එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය. 6ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක.