පෙබරවාරි 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
අද දිනට

කියවීම්

2026 පෙබරවාරි 8

Fifth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

යෙසායා 58:7-10

7සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ. 8එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය. 9එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්, 10සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
Responsorial Psalm

ගීතාවලිය 112:4-5, 6-7, 8-9

4සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. 5දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය. 6මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය. 7ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය. 8ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය. 9ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
Reading II

1 කොරින්ති 2:1-5

1සහෝදරයෙනි, මා ඔබ වෙත පැමිණ දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කළේ, චතුර කථිකත්වයක් හෝ ප්‍රඥාවක් හෝ පෙන්වමින් නොවේ. 2මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය. 3මම දුර්වලකමින් ද බියෙන් ද අධික තැතිගැනීමෙන් ද ඔබ සමඟ සිටියෙමි. 4මාගේ කතාව හා දෙසුම මා ප්‍රකාශ කෙළේ සිත් පොළඹවන සුලු, ප්‍රඥාවන්ත වචනවලින් නොව, ආත්මයාණන් වහන්සේගේ බලයෙනි, 5එසේ වූයේ ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාව මත නොව දෙවියන් වහන්සේගේ බලය මත පිහිටන පිණිස ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 8:12

12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 5:13-16

13ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත. 14ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. 15මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. 16එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”