කියවීම්
2026 පෙබරවාරි 21
Saturday after Ash Wednesday
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 58:9-14
9එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
10සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
11මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
12නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
13සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
14මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”
Responsorial Psalm
ගීතාවලිය 86:1-2, 3-4, 5-6
1සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය.
2මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව; ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව.
3මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.
4ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.
5මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.
6සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.
Verse Before the Gospel
එසකියෙල් 33:11
11මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.
Gospel
ශුද්ධ වූ ලූක් 5:27-32
27ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක.
28ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
29ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ.
30එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, ”ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ.
31ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත.
32මා ආයේ, පවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ ය”යි වදාළ සේක.