කියවීම්
2026 පෙබරවාරි 18
Ash Wednesday
දවසේ දේව මෙහෙය
Reading I
ජෝවෙල් 2:12-18
12සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.
13වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
14සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?
15සියොන් කන්දේ හොරණෑව පිඹින්න; උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.
16සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!
17ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!”
18එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 51:3-4, 5-6, 12-13, 14 and 17
3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
5පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.
6සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.
12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව.
13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.
17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.
Reading II
2 කොරින්ති 5:20-6:2
20දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.
21දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
1එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.
2මන්ද, ”ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.
Verse Before the Gospel
ගීතාවලිය 95:8
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel
ශුද්ධ වූ මතෙව් 6:1-6, 16-18
1මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.
2එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත.
3එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා.
4ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”
5ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත.
6එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.
16ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත.
17එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න.
18මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”