කියවීම්
2026 ජූලි 6
Monday of the Fourteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
හොසියා 2:16, 17-18, 21-22
16සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ”එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය.
17මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය.
18එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන් වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි.
21ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි.
22ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 145:2-3, 4-5, 6-7, 8-9
2සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි.
3සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
4පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.
5මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි.
6දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි.
7ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති.
8සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය.
9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.
Alleluia
2 තිමෝති 1:10
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 9:18-26
18උන් වහන්සේ මේ කරුණු කියමින් සිටිය දී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන් වහන්සේ නැමඳ, ”මාගේ දුව මේ දැන් මළා ය. එහෙත්, ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව; එවිට ඈ ජීවත් වනු ඇතැ”යි කී ය.
19ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ.
20එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය.
21එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි.
22ජේසුස් වහන්සේ හැරී ඈ දැක, ”දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය.
23ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී,
24නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, ”අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ.
25එහෙත්, සමූහයා පිට කරනු ලැබූ පසු උන් වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලූසේක.
26දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය.