කියවීම්
2026 ජූලි 8
Wednesday of the Fourteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
හොසියා 10:1-3, 7-8, 12
1ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.
2ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
3මේ සෙනඟ නොබෝ කලකින් මෙසේ කියනු ඇත: ”අප දෙවියන් වහන්සේට ගරුබිය නොදැක්වූ බැවින් අපට රජ කෙනෙක් නැත. එහෙත්, රජ කෙනෙකුගෙන් අපට වැඩක් ඇද් ද?
7සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය.
8ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”
12ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගන්න; ස්ථිර ප්‍රේමයට සුදුසු පල නෙළාගන්න. පුරන් බිම කොටන්න. නුඹේ සමිඳාණන් වහන්සේ වෙත හැරෙන්නට දැන් කාලය හරි ය. එවිට උන් වහන්සේ පැමිණ නුඹලා පිට ගැළවීමේ වැසි වස්වන සේක.
Responsorial Psalm
ගීතාවලිය 105:2-3, 4-5, 6-7
2එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
3එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
4සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.
5එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි,
6එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 1:15
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Gospel
ශුද්ධ වූ මතෙව් 10:1-7
1ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.
2ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය;
3පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය;
4අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.
5ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: ”විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න;
6ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න.
7එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.