කියවීම්
2026 ජූලි 28
Tuesday of the Seventeenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
ජෙරමියා 14:17-22
17ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
18මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”
19සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.
20සමිඳුනි, අපේ දුෂ්ටකමත්, අපේ පියවරුන්ගේ අපරාධයත් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
21ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව.
22වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”
Responsorial Psalm
ගීතාවලිය 79:8, 9, 11 and 13
8අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
9අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.
11ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා! මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා!
13එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 13:36-43
36එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, ”කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.
37උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය;
38කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය.
39ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය.
40කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.
41මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
42ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.
43එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”