කියවීම්
2026 අගෝස්තු 1
Memorial of Saint Alphonsus Liguori, Bishop and Doctor of the Church
දවසේ දේව මෙහෙය
Reading I
ජෙරමියා 26:11-16, 24
11එවිට පූජකයෝ ද දිවැසිවරු ද අධිපතීන්ටත්, මුළු සෙනඟටත් කතා කොට, ”මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතු ය. මන්ද, ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය”යි කී හ.
12එවිට ජෙරමියා සියලු ම අධිපතීන් හා මුළු සෙනඟ අමතා මෙසේ කී ය: ”ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත්, නගරයටත්, ඔබ හැමටත් විරුද්ධ ව කියන්නට සමිඳාණන් වහන්සේ මා එවූ සේක.
13එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියා කලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක.
14මම දැන් ඔබේ අතෙහි ය. ඔබට සුදුසු යැ යි පෙනෙන හැටි මට කරන්න.
15මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”
16එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, ”මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ.
24ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.
Responsorial Psalm
ගීතාවලිය 69:15-16, 30-31, 33-34
15රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා!
16සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
30එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.
31ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය. අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.
33මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
Alleluia
ශුද්ධ වූ මතෙව් 5:10
10යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;
Gospel
ශුද්ධ වූ මතෙව් 14:1-12
1එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා,
2මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය.
3මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.
4මෙසේ කෙළේ, ”ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි.
5ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.
6එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය.
7එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය.
8ඈ ද සිය මවගේ උපදෙස් අනුව, ”ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය.
9ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී,
10කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය.
11ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය.
12ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ.