කියවීම්
2026 ජූලි 29
Memorial of Saints Martha, Mary, and Lazarus
දවසේ දේව මෙහෙය
Reading I
ජෙරමියා 15:10, 16-21
10අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.
16ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි.
17විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.
18මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”
19මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: ”නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.
20මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.
21මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
Responsorial Psalm
ගීතාවලිය 59:2-3, 4, 10-11, 17, 18
2නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව; මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.
3මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව. මා අත පාපයක් හා වරදක් නොවූවත්,
4මා අපරාධයක් නොකළත්, ඔව්හු මට චෝදනා කොට සටනට සැරසෙන්නෝ ය. සමිඳුනි, මාගේ සහායට පිබිද, මා දෙස බැලුව මැනව!
10මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.
11අහෝ දෙවිඳුනි! මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව; ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව. සමිඳාණෝ අපේ පලිහ වන සේක.
17මාගේ සවිය වන ඔබ මම පසසමි; මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. ඔබ මට ප්‍රේම කරන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 8:12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 11:19-27
19මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
20ජේසුස් වහන්සේ වඩින බව මාර්තාට ආරංචි වූ විට, ඈ උන් වහන්සේ හමුවන්නට පෙරමඟට ගියා ය. එහෙත් මරියා ගෙදර නැවතී සිටියා ය.
21මාර්තා කතා කරමින්, ”ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත.
22දැන් වුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි”යි කීවා ය.
23ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක.
24මාර්තා පිළිතුරු දෙමින්, ”අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.
25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
27ඈ පිළිතුරු දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.